ඉන්දියාව තවත් වෛද්‍ය සහ තිරිඟු ආධාර යැවීමේ ක්‍රියාවලියක යෙදී සිටී.

ඉන්දියාව අඛණ්ඩව ඇෆ්ගනිස්තානයට ලබාදෙන මානුෂීය ආධාර වල කොටසක් ලෙස හත්වන වෛද්‍ය ආධාර තොගය කාබුල් වෙත යවා ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ආධාර තොගය කාබුල් හි ඉන්දිරා ගාන්ධි රෝහල වෙත ලබාදුන් බවයි.

මේ දක්වා ඇෆ්ගනිස්ථාන ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට අනුව කාණ්ඩ හතක් තුළ වෛද්‍ය සැපයුම් ටොන් 20 ක් පරිත්‍යාග කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.එයට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ, ක්ෂය රෝග මර්දන ඖෂධ සහ කොවිඩ් එන්නත මාත්‍රා 500,000 ක් ඇතුළත් වේ.

ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය සැපයුම් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ කාබුල්හි ඉන්දිරා ගාන්ධි ළමා රෝහලට භාර දී ඇත.

ඇෆ්ගනිස්ථාන ජනතාව වෙත ඉන්දියාවේ කැපවීම පිළිබිඹු කරමින් එහි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 35,000ක් ද පරිත්‍යාග කොට ඇත.

ඉන්දියාව පළමු ප්‍රතිචාර කයා ලෙස මෑතකදී සිදු වූ භූමිකම්පාවෙන් පසුව සහන ආධාර ටොන් 28 කට ආසන්න ප්‍රමාණයක් සැපයීය. මෙම සහන තොග එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය , එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ ඇෆ්ගන් රතු කුරුස සංගමය වෙත භාර දෙන ලදී.

තවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ ඇෆ්ගනිස්තානය වෙත තවත් වෛද්‍යාධාර හා තිරිඟු පිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමඟ සම්බන්ධීකරණයෙන් යැවීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බවයි.

පසුගිය ජූනි 22 දා ඇෆ්ගනිස්තානය කම්පනයට පත් කළ රික්ටර් මාපක 5.9 ක භූමිකම්පාව හේතුවෙන් පක්ටිකා පළාතේ බර්මාල් සහ ගියන් දිස්ත්‍රික්කවල සහ කොස්ට් පළාතේ ස්පෙරා දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1000 කට වැඩි පිරිසක් මිය ගියහ.