කෘෂිකාර්මික භාණ්ඩ, පොහොර සහ ඖෂධ නිෂ්පාදන ද්වීපාර්ශ්වික වෙළඳාම පිළිබඳව ද නායකයින් දෙදෙනා සාකච්ඡා කළහ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග යුක්රේන අර්බුදය සම්බන්ධව දුරකථන සංවාදයක නිරතවිය. එහිදී ගැටළුව විසඳාගැනීමට රාජ්‍යතාන්ත්‍රික භාවයේ ඉන්දියාවේ දිගුකාලීන ස්ථාවරය ඔහු නැවතත් අවධාරණය කළේය.

පෙබරවාරි 26 දින රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව මෙහෙයුම් දියත් කළ දා සිට ඉන්දියාවේ ස්ථාවරය වී ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් මෙම ගැටළුව නිරාකරණය කර ගත යුතු බවයි. එමෙන්ම පසුගිය මාස කිහිපය පුරා ප්‍රධාන ලෝක නායකයින් සමඟ පැවති සාකච්ඡා වලදී අගමැති මෝදි සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉල්ලා සිටියේය.

නායකයන් දෙපළ අතර මෙම දුරකථන සංවාදයෙන් අනතුරුව යුක්රේනයේ පවතින තත්වයේ සන්දර්භය තුළ, අග්‍රාමාත්‍යවරයා සංවාදයට සහ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට පක්ෂව ඉන්දියාවේ දිගුකාලීන ස්ථාවරය නැවත අවධාරණය කළේය යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුව, රුසියානු ජනාධිපති පුටින් 2021 දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ සිදුකළ සංචාරයේදී ගත් වැදගත් තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව නායකයන් දෙදෙනා සමාලෝචනය කළහ. කෘෂිකාර්මික භාණ්ඩ, පොහොර සහ ඖෂධ නිෂ්පාදනවල ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් දිරිමත් කළ හැකි ආකාරය පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගත් බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.