මීළඟ සාකච්ඡා වටය සැප්තැම්බර් මාසයේදී බ්‍රසල්ස් නුවරදී පැවැත්වීමට නියමිතය

යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම සඳහා වූ පළමු සාකච්ඡා වටය ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නවදිල්ලියේ දී පැවැත්විණ.

ඉන්දීය මධ්‍යම වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කළේ භූගෝලීය දර්ශක ඇතුළු ඉන්දීය-යුරෝපා සංගම් වෙළඳ සහ ආයෝජන ගිවිසුම් සඳහා මීළඟ සාකච්ඡා වටය සැප්තැම්බර් මාසයේදී බ්‍රසල්ස් නුවරදී පැවැත්වීමට නියමිත බවයි.

මෙම වටයේදී යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රතිපත්ති ක්ෂේත්‍ර 18ක් පුරා තාක්ෂණික සැසි පනස් දෙකක් මෙන්ම ආයෝජන ආරක්ෂණ සහ භූගෝලීය දර්ශක පිළිබඳ සැසි 7ක් පැවැත්වුණු බව අමාත්‍යාංශය පවසයි.

යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සඳහා ඉන්දියානු පාර්ශ්වය නියෝජනය කළේ ඉන්දීය වාණිජ දෙපාර්තමේන්තුවේ සම ලේකම් නිධි මනි ත්‍රිපති ය. යුරෝපා සංගමය වෙනුවෙන් ක්රිස්ටෝෆ් කීනර් ප්‍රධාන සාකච්ඡාකරු විය.

මෙම සැසිය සතියක කාලයක් පුරාවට ඉන්දියාවේ දිල්ලි අගනුවර දී පැවැත්විණ. මේ සඳහා සහභාගි වූ නිලධාරීන් මාර්ගගත ක්‍රමය යටතේ ද සාකච්ඡා සඳහා සම්බන්ධ විය.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් සහ යුරෝපා කොමිසමේ විධායක උප සභාපති වැල්ඩිස් ඩොම්බ්‍රොව්ස්කිස් විසින් බ්‍රසල්ස්හිදී මෙම සාකච්ඡා ආරම්භ කරන ලදී.

යුරෝපා සංගමය ඉන්දියාවේ දෙවන විශාලතම වාණිජ සහකරු මෙන්ම ඉන්දියානු අපනයන සඳහා දෙවන විශාලතම වෙළඳපොළ වේ.

2021-22 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව සහ යුරෝපා සංගමය ඇමරිකානු ඩොලර් බිලියන 116.36 ක ද්විපාර්ශ්වික වෙළඳාමේ නිරත විය.ගෝලීය බාධා කිරීම් නොතකා, දෙපාර්ශවයේ ද්විපාර්ශ්වික වාණිජ්‍යය 2021-22 දී 43.5% ක අනුපාතයකින් වර්ධනය විය.


ඉන්දියාවට එහි නිෂ්පාදන සහ සේවා අපනයන තවදුරටත් වර්ධනය කිරීමට සහ විවිධාංගීකරණය කිරීමට යුරෝපා සංගමය සමඟ ඇති වෙළඳ ගනුදෙනුව සහාය වනු ඇත.

දෙපාර්ශවයම අන්‍යෝන්‍ය සහ සාධාරණත්වයේ වටිනාකම් මත ගොඩනැගුණු පුළුල් වෙළඳ සාකච්ඡා අපේක්ෂා කරයි.