ජිමෙක්ස් මෙම වසරේ සිය දසවන සංවත්සරය සැමරීය.

ජපාන-ඉන්දියා සමුද්‍ර අභ්‍යාසය 2022 ජිමෙක්ස් 22 නවීන සබ්මැරීන් විරෝධී මෙහෙයුම් ඇතුළු ඉතා සංකීර්ණ ක්‍රියාකාරකම් රැසක් පැවැත්විණ. ඉන්දීය නාවික හමුදාව විසින් සත්කාරකත්වය දරන ලද මෙම අභ්‍යාසයේ හයවන අදියර පසුගිය සතියේ නිමමාවට පත්විණ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශ කළේ මෙම අභ්‍යාසය සෙනසුරාදා බෙංගාල බොක්ක ආශ්‍රිතව අවසන් වූ බවයි. එමෙන්ම දෙපාර්ශ්වයම චාරිත්‍රානුකූල නාවුක සමුගැනීමේ අභ්‍යාසයකින් එකිනෙකාගෙන් සමුගත් බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මෙම අභ්‍යාසය පුරාවට රටවල් දෙකෙහිම නාවික හමුදාවේ නියෝජිත කණ්ඩායම් විවිධ සංකීර්ණ සබ්මැරීන් විරෝධී මෙහෙයුම්, වෙඩි තැබීමේ අභ්‍යාස සහ ගුවන් ආරක්ෂක අභ්‍යාස සඳහා සහභාගී වූහ.

ජිමෙක්ස් 22 නාවික හමුදා දෙක එක්ව සිදු කරන ලද වඩාත් සංකීර්ණ අභ්‍යාස කිහිපයක් දැකගත හැකි විය. දෙපාර්ශ්වයම උසස් මට්ටමේ සබ්මැරීන් විරෝධී මෙහෙයුම් සහ ගුවන් ආරක්ෂක අභ්‍යාසවල නිරත වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

ප්‍රහාරක ගුවන් යානා ,හෙලිකොප්ටර් යානා සහ සබ්මැරීන ද අභ්‍යාසයට එක් විය.ඉන්දීය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූයේ සැපයුම් සහ සේවා සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිපාදන පිළිබඳ ගිවිසුම යටතේ ඉන්දීය සහ ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකායේ නැව් මුහුදේදී දෙරටේ හමුදා අතර සහයෝගීතාවය වර්ධනය වන ආකාරයෙන් අන්තර්ක්‍රියා කළ බවයි.

ඉන්දීය නාවික නෞකා, සහ්‍යාද්‍රි, කද්මට් සහ කවරාති යන නෞකාවන් ඉන්දීය නාවුක හමුදාවේ නැගෙනහිර බලඇණියේ අණදෙන නිලධාරි රියර් අද්මිරාල් සංජය භල්ලා විසින් මෙහෙයවන ලදී.ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකායේ ඉසුමෝ සහ ටකනාමි නෞකා රියර් අද්මිරාල් හිරාටා ටොෂියුකි, එස්කෝර්ට් ෆ්ලෝටිලා විසින් මෙහෙයවන ලදී.

මෙම අභ්‍යාසය නාවික හමුදා දෙක අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ අන්තර් ක්‍රියාකාරීත්වය ශක්තිමත් කළේය.2012 දී එහි ආරම්භ වූ ජිමෙක්ස් අභ්‍යාසයේ , දසවන සංවත්සරය මෙම වසරේ සමරනු ලැබීය.