අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ද හමුවීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ටෝකියෝ නුවර බලා පිටත්ව යාමට නියමිත බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය. එහිදී වැඩිදුරටත් ‍‍ අදහස් දක්වමින් විදේශ ලේකම් පැවසූයේ එම සංචාරය අතරතුර දී අගමැති මෝදි ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ද හමුවීමට නියමිත බවයි.

පසුගිය ජූලි 8 වැනිදා ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ අබේ, බටහිර ජපානයේ නාරා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි බුඩෝකාන්හි රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ඉන්දියාව වෙනුවෙන් සහභාගී වේ. අනතුරුව ඔහු ජපානයේ ‍‍ ආකාසක මාලිගයේ සුබ පැතුම් අවස්ථාවට සහභාගී වනු ඇත. මිට අමතරව, ඔහු අගමැති ෆුමියෝ කිෂිඩා සහ අකී අබේ ද හමු වීමට ද නියමිත බව වාර්තා වේ.

ඉන්දීය අගමැති මෝදි සහ ජපාන අගමැති කිෂිඩා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාව, ඉන්දීය-ජපාන විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නායකයින් දෙදෙනාගේ කැපවීම නැවත තහවුරු කිරීමට අවස්ථාවක් වනු ඇති බව ඉන්දීය විදේශ ලේකම් ක්වාට්‍රා පවසයි.

රාජ්‍ය අවමංගල්‍යයට රාජ්‍ය නායකයින් 20කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව රටවල් 100කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගී වීමට නියමිතය.

ඉන්දියාව ජූලි 9 වැනිදා ෂින්සෝ අබේ ට ගෞරව දැක්වීම සඳහා එක්දින ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළේය.

2007 දී ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අගමැති මෝදිගේ ජපාන සංචාරයේ සිට දශකයකට වැඩි කාලයක් ඔහු ඉන්දියාවේ ආදරණීය මිතුරෙකු සහ ඉන්දු-ජපාන සබඳතාවල විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස කටයුතු කළ බව ඉන්දීය විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නේය. එබැවින් මෙම සංචාරය අගමැති මෝදිට හිටපු අගමැති අබේගේ මතකයට ගෞරව කිරීමට අවස්ථාවක් වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

2014 දී ඉන්දු-ජපාන සබඳතා විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වයේ තත්ත්වය දක්වා නායකයන් දෙපළ විසින් ඔසවා තඹන ලදී.ආර්ථික සම්බන්ධතාවය පුළුල් කරමින් විස්තීර්ණ සහ උපායමාර්ගික හවුල්කාරිත්වයක් බවට පත්කරමින් ඉන්දියා-ජපාන සබඳතා නව මානයකට ඔසවා තැබීමට අගමැති අබේ විශිෂ්ට දායකත්වයක් සැපයූ බව විදේශ ලේකම් ක්වාට්‍රා වැඩිදුරටත් පැවසීය. එය දෙරටේ සහ කලාපයේ ආරක්ෂාව සඳහා වැදගත් වේ යැයි ද ඔහු නිරීක්ෂණය කළේය.

2007 දී ඉන්දීය පාර්ලිමේන්තුවේදී දිවංගත ජපන් නායකයාගේ සුප්‍රසිද්ධ "සමුද්‍ර දෙකක එකතුව" දේශනය ද ඔහු සඳහන් කළේ ඉන්දු-පැසිෆික් කලාපය සමකාලීන දේශපාලන, උපායමාර්ගික සහ ආර්ථික යථාර්ථයක් ලෙස මතුවීමට අඩිතාලම දැමූ බවයි.

ඉන්දියා-ජපාන සබඳතා සඳහා අගමැති අබේගේ දායකත්වය 2021 දී කීර්තිමත් පද්ම විභූෂන් සම්මානයෙන් පිදුම් ලැබීමෙන් හඳුනා ගත හැක යැයි විදේශ ලේකම් ක්වාට්‍රා පැවසීය.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම ජපාන සංචාරය පැමිණෙන්නේ මේ වසරේ මැයි මාසයේදී ක්වාඩ් නායකයින්ගේ සමුළුව සඳහා අගමැති මෝදිගේ ජපානයට පැමිණීමෙන් පසුවය. අගමැති මෝදි සහ අගමැති කිෂිඩා ද ක්වාඩ් සමුළුව අතරතුරදී ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීය.

ඉන්දියා-ජපාන සබඳතා පුළුල් කිරීම සඳහා නායකයින් දෙදෙනාගේ කැපවීම සහ පශ්චාත් වසංගත කලාපීය සහ ගෝලීය පිළිවෙලක් හැඩගැස්වීමේ ක්‍රියාදාමයට මෙම රැස්වීම විශේෂයෙන් ඉවහල් වේ යැයි විදේශ ලේකම් ක්වාට්‍රා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසූයේ ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ සමීප දැක්මක් දෙරට අතර පවතින අතර ජාත්‍යන්තර වැදගත්කමක් ඇති ගැටළු සම්බන්ධයෙන් ජාතීන් දෙකම සහයෝගීතාවයෙන් කටයුතු කරන බවයි.

වෙළෙඳ සහ ආයෝජන, ආරක්‍ෂාව, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ආරක්‍ෂාව, යටිතල පහසුකම්, ඩිජිටල්, කාර්මික සංවර්ධනය, බලශක්තිය, තාක්‍ෂණ සහ මානව සම්පත් යන ප්‍රධාන ක්ෂේත්‍රවල ඉන්දීය-ජපාන රාජ්‍යතාන්ත්‍රික ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශවය කැපවී සිටින බව ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට ඉන්දීය-ජපාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවට මේ වසරේ වසර 70ක් සපිරේ. එමෙන්ම ජපානය ඉන්දියාවේ වඩාත්ම විශ්වාසදායක සහ වටිනා උපායමාර්ගික හවුල්කරුවකු ද වේ.